" The Story of a Real Man "

Saturday, January 14, 2017

6

6 - පරිච්ඡේදය
චොකලට් පංගුව
--------------------------
ඇගේ නිවසට යන බොහෝ දින වල දී ඇය හා ඇගේ කුඩා සහෝදරියන්ට චොකලට් රැගෙන යාම මගේ සිරිතක් වී තිබුණි. නිවෙසට ගොඩ වන විට මගේ වමත ( කුඩා කාලයේ දීම ඔහුගේ නොකමැත්ත මත දකුණත හුරු කරන ලද ඔහු වමත්කරුවෙකි) සිරුරේ පසු පසට කර ගෙන සිටී නම් පුංචි දැරියන්ගේ සතුට උතුරා යයි.ඔවුන් වෙනුවෙන් වෙන් වූ යමක් මා සඟවා ගෙන සිටිනා බැව් දන්නා ඔවුන් ගෙන් ඇය හැරුණු විට අනිත් තිදෙනාම එක් වරම මා ආක්‍රමණය කරමින් පිටුපස අතේ ගුලිවී පවතින ඔවුන්ගේ පංගුව ලබා ගැනීමට රන්ඩු කරයි. නමුත්, ඇය කිසි දිනෙක එයට හවුල් නොවුවාය. අනෙක් තිදෙනාට වෙනමත් ඇගේ පංගුව වෙනමත් ගෙන ඒමට මා පුරුදු වුනේ එබැවිනි. මා වෙත පය නොනගන ඇගේ පංගුව ඇය ලබා දීම සඳහා ඇය වෙත යාම කුඩා වුවත් ඇයට කළ ගෞරවයක් ලෙසත් ඇය සුවිශේෂී කර සැලකීමක් ලෙස දකින ඇය නිහඬ සතුටට පත් වන්නීය.
නමුත් එක් සුවිශේෂී දිනයක සිදු වූ යම් සිදුවීමකට පසුව මා සිත ද ප්‍රීතියෙන් උද්දාමයට පත්වූ බැව් නම් නොකියාම බැරි ය.
ඇයට වඩා වසරක් හෝ දෙකක් වැඩිමහලු ඇගේ ඥාති සහෝදරියක ඒ වන විට ඇගේ නිවසේ තාවකාලිකව ලැගුම් ගෙන සිටියා ය. ඒ බැව් දැන සිටි මා එදින ආගන්තුක දැරියට ද චොකලට්ටුවක් රැගෙන ගියෙමි. ආගන්තුක දැරිය පෙනෙන්ට නොසිටි බැවින් එම දැරියගේ පංගුවද සමඟින් ඇගේ චොකලට්ටුව ද මම ඇය වෙත දිගු කළෙමි.
“ මෙන්න ඔයාටයි , ඔයාගේ යාළුවටයි. එයාටත් දීලා කන්න “
වෙනදා ඇගෙන් ප්‍රතිඋත්තර ලෙස ලැබෙන සුපුරුදු මද සිනාවත් නිහඩ ඉස්තුතීයත් වෙනුවට මා වෙත එල්ලවූයේ නොසිතූ පිළිතුරකි.
පාර්සලයේ වූ චොකලට් පැකට් දෙක විසිරී යන ලෙස බිමට විසිකළ ඇය “ තමුසෙට ඕනි නම් දී ගන්නවා “ යැයි පවසා තරප්පු පෙළ දිගේ ඉහළට දිව යන්නට වුවා ය.
සිදු වූ දෙයින් විපක්ෂිතභාවයට පත්වූව ද , ඇගේ පසුපසින් ඇය හඹා ගොස් ඉහළ මාලයට පය තබද්දීම ඉගිලී ආ පුටු කොට්ටයක් මගේ මුහුණේ වැදුනේ ඇගේ කෝපය කොතරම්දැයි කියා පෑමට මෙනි.
“ බොහොම ඉස්තූති “ ලෙස ඇයට පවසා විගසින් තරප්පු පෙළ දිගේ පහළට පැමිණ ඒ වේගයෙන්ම නිවසට පැමිණි මා හිතේ තෙරපෙන නොදන්නා සතුට සමරණු වස් වයින් වීදුරුවක් තොල ගෑවේ ,අද දවස කොතරම් නම් ලස්සන දැයි සිතමිණි.
ප/ලි - මා විසින් අකුරු කරනා මේ කතාව , එක්තරා මිනිසකුගේ මතකයේ තැවරී ඇති සත්‍ය කතාවක් වන අතර දිනෙන් දින ඒ මතකය මගේ ෆේස් බුක් පිටුව පුරා ඇතිරීමේ දී මගේ සිත ඇය ගැන අනුකම්පාවෙන් ද කතාවේ අයිතිකරු ගැන තරහවකින් ද පිරී යයි. මේ කතාවේ කොටස් බලාපොරොත්තුවෙන් මඟ බලන හිතවතුනි , ඉන්බොක්ස් මැසේජ් එවන යහළු/යෙහෙළියනි. මේ කතාවේ අවසානය ලිවීමට මට වසරක කාල සීමාවක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටි මි.

No comments:

Post a Comment